තමාගේම නිවසක සිහින දකින ඔබට…(6 කොටස )

 

අද මම ඔබට කියන්න යන්නේ නිවාස සැලසුම් සහ නිවාස වර්ග ගැන.මේ ලිපිය කියවීමෙන් පසු ඔබට අවශ්‍යතාවයට අනුව කුමන විදිහේ නිවාසයක්ද ඔබට අවශ්‍ය කියලා තේරුම් ගන්න පුලුවන් වෙයි.ප්‍රධාන වශයෙන් නිවාස වර්ග 2 කි.
 
1.තනි මහල් නිවාස
2.මහල් කීපයකින් ඇති නිවාස.
 
ඔබට නිවසක් තැනීමේ අවශ්‍යතාවය ඇතිවුන ගමන්ම තීරණය කරගන්න අවශ්‍ය තනි තට්ටුවේ නිවසක්ද නැතිනම් මහල් දෙකක හෝ මහල් කීපයක නිවසක් ද කියලා…එක පාරටම ඔබට ඒ තීරණය ගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්.මම තේරෙන සින්හලෙන් මට පුලුවන් උපරිමවෙන් තේරුම් කරලා දෙන්නම් මේ නිවාස වර්ග දෙකේ වාසි සහ අවාසි ගැන.මුලින්ම තනි තට්ට්ටුවේ නිවාස ගැන හොයලා බලමු.
 
1.තනි මහල් නිවාස
තනි මහල් නිවාස කියන්නේ තනි තට්ට්ටුවේ ගෙවල් වලටම තමයි.ලංකාවේ බොහෝ විට දක්නට ලැබෙන්නේ මේ වර්ගයේ නිවාසයි.ලෝකේ කොහේ හැදුවත් බොහෝවිට ගෙවල් වල තියෙන්නේ එකම කොටස් ටිකක්.ඒ කියන්නේ විසිත්ත කාමරය (Living Room),ආහාර ගන්නා ස්ථානය (Dining room),මුලුතැන් ගෙය (Kitchen or Pantry),නිදන කාමර (Bed Rooms) කීපයක්,නාන කාමරයක් සහ වැසිකිලියක්(Bath Room /Toilet) හෝ කීපයක් ප්‍රධාන වශයෙන්ද, අවශ්‍යතාවයන්ට අනුව වාහන නැවතුමට ගරාජයක්,මැද මිදුලක්,කාර්යාලීය කාමරයක්,වැරන්ඩා,නාන තටාක ආදිය ඇතුලත් කර ගත හැක.මේ සියලුම දේවල් හරි කීපයක් හරි තනි හෝ මහල් නිවාස වලට ඇතුල් කරන්න පුලුවන්.ඒත් ඊටපෙර මේ දේවල් ගැන හිතන්න ඕනි.
 
  • තනි මහල් නිවසක් වඩාත් සුඩුසු වන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලකටයි.එහෙම කියන්නේ අද වන විට තියන අමුද්‍රව්‍ය වල මිල සහ සේවක කුලී ගැන සැලකීමෙන්.සාමාන්‍යයෙන් ලක්ශ 20~25 ක් විතර මුදලකින් සාමාන්‍ය මට්ටමේ විසිත්ත කාමරයක් (Living Room),ආහාර ගන්නා ස්ථානයක් (Dining room),මුලුතැන් ගෙයක් (Kitchen or Pantry),නිදන කාමර (Bed Rooms) කීපයක්(2~3), නාන කාමරයක් සහ වැසිකිලියක්(Bath Room /Toilet),ගරාජයක්, වැරන්ඩාක් වැනි අංග ඇතුලත් සම්පූර්ණ තනි තට්ටුවේ නිවසක් ඉදි කරගන්න පුලුවන්.
  • තනි මහල් නිවසක් වඩාත් සුදුසු වන්නේ තරමක් විශාල ඉඩමකට.අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය සියලු අංග පොලොව මතුපිට ස්තාන ගතකල යුතු නිසා පර්චස් 15 ට වඩා වැඩි ඉඩම් මේ සඳහ සුදුසු වේ.
  • තනි මහල් නිවසක් වඩාත් සුදුසු වන්නේ අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වලට.එහෙම කියන්නේ නාගරික ප්‍රදේශ වල තරමක් විශාල ඉඩම් සුලබ නොවන නිසා…ඒත් නාගරික ප්‍රදේශ වල තනි මහල් නිවාස ඉදි කලා කියලා ගැටලුවක් ඇති වෙන්නේ නෑ…
  • පවුලේ ජීවත් වෙන්නේ බොහෝම සුලු පිරිසක් නම්,ඒ කියන්නේ පස් දෙනෙක් ට අඩු ගණනක් නම් වඩාත් සුදුසු වෙන්නේ තනි මහල් නිවාසයක්.
තනි මහල් නිවාසයකට කණු කීපයක් ඇති වැරන්ඩාවක් එකතු කරාම හුඟක් ලස්සනට පේනවා…ඒ වගේම වහලය මට්ටම් කීපයකට පල කීපයකට යෙදීමෙන් තනි මහල් නිවස තවත් ලස්සන කරගන්න පුලුවන්.හැබැයි මේවට තරමක් වැඩිපුර මුදල් වැයවෙන බව හිතේ තියාගන්න.දෙමහල් නිවසක් ගැන හීන දැක දැක හිටපු ඔබට යම් අපහසු තාවයක් නිසා තනි මහල් නිවසක් තැනීමට සිදු වුනොත් දුක් වෙන්න එප…ඉහත මා කී ක්‍රම සහ තවත් නොයෙක් ගෘහනිර්මාණ ක්‍රම මගින් ඉතා ලස්සන තනි මහල් නිවසක් සැලසුම් කරන්න දක්ශ සැලසුම් කරුවෙකුට පුලුවන්.ඒ නිසා හැම විටම සැලසුමක් අන්දවා ගැනීමට පෙර ඔබේ ආර්ථික මට්ටම සහ ඉඩමේ ස්වභාවය පිලිබඳව සැලසුම් ශිල්පියාට දන්වන.තනි මහල් නිවසකට වැයවෙන මුදල මෙන් දෙගුනයක් පමණ දෙමහල් නිවසකට වැයවෙන නිසා ජීවිත කාලයම බාගෙට හදපු දෙමහල් නිවසක ඉන්නවට වඩා සම්පූර්ණයෙන් හදාගත්තු තනි මහල් නිවසක ජීවත් වෙන එක හිතට ලොකු සහනයක්.ආයෙමත් මම කියන්න ඕනි මම මෙහෙම කියන්නේ ආර්ථික අතින් අපි වගේ සාමාන්‍ය මධ්‍යම පාන්තික අයට.
 
2.දෙමහල් හෝ මහල් කීපයක් ඇති නිවාස.
 
  • මහල් කීපයකින් යුතු නිවාස වඩාත් ගැලපෙන්නේ ආර්තික අතින් සවිමත් අයටයි.එහෙම නැතිනම් තරමක් විශාල මුදලක් බැංකුවකින් ණය මුදලක් ලෙස ලබාගෙන කොටස් වශයෙන් එය අපහසුවකින් තොරව ගෙවීමේ හැකියාව ඔබට තියනවනම් මහල් නිවාසයක් ගැන ඔබට හිතන්න පුලුවන්.
  • මහල් කීපයකින් යුතු නිවාස පර්චස් කීපයක කුඩා ඉඩමකට මෙන්ම විශාල ඉඩම් සඳහා වුවද ගැලපේ.ඔබට තියෙන්නේ කුඩා ඉඩමක් නම් එහි ඇති ඉඩ ප්‍රමාණය කලමණා කරණය කරගෙන හොඳින් ඉඩ පහසුව ඇතිව දෙමහල් නිවසක් ඉදි කරන්න පුලුවන්.පර්චස් 7ක් 8ක් වගේ තියන නාගරික ඉඩමක උනත් පර්චස් 3 ක් විතර ගෙවත්තක් ඇතුව නවීන පන්නයේ අලංකාර හොඳින් ඉඩකඩ ඇති මහල් නිවසක් හදන්න පුලුවන්.
  • පවුලේ වැඩි පිරිසක් ජීවත් වෙනවා නම්,ඒ කියන්නේ පස් දෙනෙක් ට වැඩි ගණනක් නම් වඩාත් සුදුසු වෙන්නේ දෙමහල් නිවාසයක්.
 
බොහෝ විට විසිත්ත කාමරය,කෑම කාමරය පෑන්ට්‍රිය හෝ කුස්සිය,ගරාජය,සේවක කාමර,අමුත්තන්ගේ කාමරය,නාන කාමරයක් වැනි අංග පහත මාලයටත් නිදන කාමර,රූපවාහිණී කාමරය,ලොබිය,සඳලු තලය,නාන කාමරයක් හෝ කීපයක් වැනි පුද්ගලික අංග ඉහත මාලයටත් යෙදීම සාමාන්‍ය ක්‍රමයයි.නමුත් පෙර මා කී මෙන් තනි මහල් නිවසකට යන වියදම මෙන් දෙගුනයක් පමණ දෙමහල් නිවසකට වැයවෙනවා.ඒ ගැනත් හොඳින් හිතල බලල තමට වඩාත් ගැලපෙනම නිවාස වර්ගය තෝර ගන්න.
 
ඔබේ නිවස තනි මහල් හෝ දෙමහල් කුමන ආකාරයේ නිවසක් උනත් වෙනත් නිවාස සමඟ සන්සන්දනය කරන්න එපා.සෑම විටම ලෝකේ තියන ලස්සනම,වාසනාවන්තම නිවස ඔබේ නිවස කියලා හිතන්න.ඔබේ ආර්තික මට්ටමට ගැලපෙන,ඔබේ අවශ්‍යතාවයන්න්ට ගැලපෙන ලෝකේ තියන හොඳම නිවාසයේ ඔබ ඉන්නේ කියලා හැමවෙලේම හිතන්න…එහෙම හිතුවොත් ඔබට කිසිදාක වරදින්නේ නෑ.

තමාගේම නිවසක සිහින දකින් ඔබට…(5 කොටස )

 

 

ඔන්න ආයෙමත් ගෙවල් හදන්න ඉන්න අයට සහ ගෙවල් හදාගෙන යන අයට වැදගත් වෙයි කියල හිතෙන කරුණු ටිකක් ලියන්නයි හදන්නේ.අද කියන්නේ නිවාස තැනීමට ගන්නා අමුද්‍රව්‍ය නිසි ලෙස තෝරා ගන්නා ආකාරය ගැනයි.මොකද කියනවනම් වෙළඳ පොලේ හොඳ බඩු මෙන්ම තත්වයෙන් බාල හොර බඩුත් අනන්තවත් තියනවනේ.බොහෝ දෙනෙක් කාර්ය බහුලත්වය නිසා තමාගේ නිවාසය තැනීමට වෙනත් කොන්ත්‍රාත් සමාගමකට බාර දෙනවා.ඒකත් ආකාර 2 කට සිදු වෙනවා.එකක් තමයි අමුද්‍රව්‍ය නිවැසියා ලබා දී කම්කරු ශ්‍රමය පමනක් අදාල සමාගමෙන් හෝ කොන්ත්‍රාත් කරුගෙන් ලබා ගැනීම.අනෙක තමයි සියලුම අමුද්‍රව්‍ය සහ ශ්‍රමය අදාල සමාගමෙන් හෝ කොන්ත්‍රාත් කරුගෙන් ලබා ගැනීම.දෙවන ක්‍රමයේදී නම් අප වඩාත් සැලකිල්ලක් දක්වන්න ඕනි අනෙක් පාර්ශවයෙන් නිසි ප්‍රමිතියට අනුව අමුද්‍රව්‍ය යොදාගන්නවාද යන්න පිලිබඳව.සාමාන්‍යයෙන් ටිකක් යහමින් මිල මුදල් තියන පිරිස තමයි හුඟක් වෙලාවට පෙර මම කියපු ක්‍රම දෙකට යන්නේ.බොහෝ විට අප වැනි සාමාන්‍ය මධ්‍යම පාන්තිකයින් කරන්නේ සල්ලි ටිකක් එකතු කරගෙන එකෙන් ගල් ටිකක්,වැලි ටිකක්,සිමෙන්ති මිටි කීපයක් ගෙනත් මේසන් මහතෙක් අල්ලගෙන වැඩේ කරගන්න එකනේ.ඔය කොයි කොයි විදිහට නිවාසය හැදුවත් බාස් ගෙ කීමටවත්,කොන්ත්‍රාත් කරුගෙ කීමටවත්,වෙලෙන්දාගෙ කීමටවත් රැවටෙන්නෙ නැතුව බුද්දිමත්ව අමුද්‍රව්‍ය ටික ගන්න ඕනි.

1. සිමෙන්ති
=======================
නිවසක් ඉදිකිරීමේදී අතිශයෙන්ම වැදගත් අමු ද්‍රව්‍යකි.ගඩොල් හෝ කලුගල් හෝ කොන්ක්‍රීට් එකකදී නම් කුඩා ගල්,කම්බි සහ වැලි එකිනෙක ශක්තිමත්ව බඳවා තබීමට ප්‍රධාන වන්නේ සිමෙන්තිය.සිමෙන්ති වර්ග ගනනාවක් තිබේ.නමුත් ලංකාවේ අප සාමාන්‍ය ඉදි කිරීම් සඳහා යොදා ගන්නේ පෝට්ලන්ඩ් වර්ගයේ සිමෙන්තිය.නොයෙක් නම් වලින් වෙලඳ පොලට එන්නේ මේවාය.සිමෙන්ති මිලට ගනීමේදී අනිවාර්යයෙන් තත්ව සහතිකය තිබේදැයි බලන්න.එය මනාව පෙනෙන පරිදි පිට කවරයේ මුද්‍රනය කර තිබිය යුතුය.දැනට වෙලඳ පොලේ ඇති බොහෝ සිමෙන්ති වලට SLS සහතිකය තිබුනත් මා නම් පුද්ගලිකව අනුමත කරන්නේ සෑම විටම සංස්ථා සිමෙන්ති මිලදී ගන්න ලෙසයි.ඇතැම් විට මේසන් මහත්වරුන් සංස්ථා සිමෙන්ති වලට වැඩි කැමැත්තක් නොදක්වයි.ඒ සංසිතා සිමෙන්ති සවි වීමට තරමක් වැඩි වේලාවක් ගතවන නිසා සහ දෑත් හම යන ස්වභාවය වැඩි නිසාය.නමුත් ක්ෂනිකව සවිවන සිමෙන්ති වලට වඩා ක්‍රමානු කූලව සවි වන සිමෙන්ති වල ශක්තිය වැඩිය.හැකි සෑම විටම සංස්තා සිමෙන්ති යොදා ගන්න. එකවර වැඩි සිමෙන්ටි මිටි ප්‍රමානයක් මිලදී ගන්නේ නම් (25 ට වඩා) ඔබ වෙසෙන ප්‍රදේශයේ නියොජිත මහතා මගින් වෙලඳ සැල් වලට දෙන මිලටම නිවසටම ප්‍රවාහනය කරව ගන්න පුලුවන්. කඩේ මිලට වඩා රුපියල් 15ක් පමන අඩුවට ගන්නත් පුලුවන්.
 
2. වැලි
======================== ඉදි කිරීම් ක්ෂේස්ත්‍රයේ අත්‍යාවශ්යම අමු ද්‍රව්‍යකි.පිරිසිදු ගංගා වැලි ඉදිකිරීම් සඳහා යොග්‍ය වේ. ඉතා කුඩා ප්‍රමානයේ සහ විශාල ප්‍රමානයේ වැලි,අදික බොරලු ඇති වැලි මිලදී ගැනීමෙන් වලකින්න.සෑම විටම මධ්‍යම ප්‍රමාණයේ මඩ ගතිය අවම වැලි මිලදී ගන්න.අදික වැසි සමයන්හිදී ගංගා වැලි වලට රොන් මඬ මිශ්‍ර වේ.එවැනි කාල වලදී සැලකිලිමත්වන්න.ගංගා වැලි වලට අමතරව වැලි නිධි වලින්ද වැලි ගොඩ ගනු ලැබේ.නිධි වැලි බොහෝ විට ඉතා කුඩා වේ.කපරාරු කිරීම් ආදිය සඳහා තරමක් සුදුසුවේ.මුහුදු වැලි කිසි විටෙකත් ඉදිකිරීම් සඳහා කවුරු කිව්වත් යොදා ගන්න එපා.
 

3. ගල්

=========================

ගල් ප්‍රධාන වශයෙන් ගන්නේ අත්තිවාරම් දැමීමට සහ කොන්ක්‍රීට් දැමීමටයි.අත්තිවාරමට ගන්නේ 9″x 12″ පමන විශාල ගල් සහ කුඩා සක්ක කැබලිය.ගල් වල පැහැය සුදට හුරු නම් හෝ,ගල් හරහා සුදු පැහැති වයිරම් විශාල වශයෙන් තිබේනම් ඒවා ශක්තිමත් බවෙන් අඩු ඒවා ය.තද අලු පැහති කලු පාටට හුරු ගල් ශක්තිමත් බවෙන් වැඩිය..කොන්ක්‍රීට් සඳහා යොදා ගනේ 3/4″ප්‍රමානයේ කලුගල් ය.පෙර කී කරුණු මෙයටද අදාල වේ.විශාල කැට සහ කුඩා කැට බහුල මිශ්‍ර කොන්ක්‍රීට් ගල් වලට වඩා එකම ප්‍රමානයේ කුඩා ගල් (3/4″) මිලදී ගන්න.ඇතම් ගල් මෝල් කරුවන් බාල කලුගල් වලට ජලය ඉස කලු පැහැයට හරවා පාරිභොගිකයා රවටන අවස්ථා තියනව.ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.(අනිත් ගල් වගේ නෙමේ…ගෙවල් හැදිල්ලෙදි සුදු ගල් වලට රැවටෙන්න එපා…!!!)
 
4. කම්බි
========================
කොන්ක්‍රීට් එකක් දැමීමේදී ශක්තිමත් භාවයට ප්‍රධාන වේ.නානාප්‍රකාර කම්බි වර්ග වෙලද පොලේ තිබුනත් සංස්ථා කම්බි ඒ සැමට වඩා ශක්තිමත් බවෙන්,ආතතියෙන් සහ නිමාවෙන් අවිවාදයෙන් ම ඉදීයෙන් සිටී.මේ බව එකම ප්‍රමානයේ සංස්ථා කම්බියක් සහ වෙනත් වර්ගයක කම්බියක් සැසඳීමෙන් ඔබටම පෙනේවි.සංස්ථා කම්බි අනෙක් කම්බි වර්ග වලට වඩා තරමක් මිලෙන් වැඩි නිසා කොලම්,බීම් සහ ඉහත මාලය සඳහා පමනක්වත් අඩුම් තරමේ සංස්ථා කම්බිම යොදා ගන්න.ඒ හැරුනු විට බියගම කම්බි තරමක් ප්‍රමිතියෙන් ඉහලය
 
5.ගඩොල්
========================
නිවසක බිත්ති බැඳීමට යොදා ගැනේ.ගඩොල් වර්ග 2ක් තිබේ.ඒවා නම් ඉංජිනේරු ගඩොල් සහ පිලිස්සූ මෝඩ ගඩොල්ය.ඉංජිනේරු ගඩොල් ප්‍රමානයෙන් කුඩාය.කුඩා ගඩොල් විශාල ගඩොල් වලට වඩා ඉක්මනි,හොඳින් පිලිස්සේ.නමුත් සමහර විට පිටතින් ඉතා හොඳින් පිලිස්සී ලෙස පෙනුනද ඇතුලතින් පිලිස්සී නැති ගඩොල් තිබේ.මේවා “දඹු ගඩොල්” වේ.ගඩොල් ගැනීමේදී කැඩී ගිය ගඩොල් කැබලි පරීක්ෂා කරන්න.එවිට දඹු ගඩොල් බහුල බව පෙනේ නම් මිලදී ගැනීමෙන් වලකින්න.හොඳින් පිලිස්සුනු ගඩොල් කැට දෙකක් එකිනෙක ගටුනු විට නැවුම් පැදිලි ශබ්දයක් නැඟේ.එය ටයිල් කැට දෙකක් එකට වදින විට නැගෙන හඬ මෙන් වේ.තවද බාහිරින් නිසි ලෙස පිලිස්සේ නැති,පැත්තක් රතු පැහැයටත් තවත් පැත්තක් කහ පැහැයටත් ඇති ගඩොල් බහුල නම් එම ස්ථානයෙන්ද ගඩොල් මිලදී ගැනීමෙන් වලකින්න.හොදින් පිලිස්සුනු ගඩොල් රත් පැහැති වේ. ===============================================================================================================
 
මේ ලිපිය ලිව්වේ ටිකක් කාර්ය බහුල දවස් ටිකක.ප්‍රින්ටින් මිස්ටේක් එහෙම ඇති.ගනන් ගන්න එපා.ගල්,වැලි,සහ ගඩොල් නම් එකවර විශාල ප්‍රමානයක් ගැනීමෙන් තරමක ලාබ දායී වෙන්න පුලුවන්.ඒත් ඒවා ගේන්න කලින් ඉඩකඩ පහසුව ගැනත් හිතන්න ඔනි.වැලි එහෙම ගෙනත් නිකම් ගොඩ ගහල තිබුනොත් එක වැස්සක් වැහැපු ගමන් බඩුම තමයි.ඒ නිසා ඒවටත් පිලියමක් යොදාගන්න.වැලිගොඩ වටේ ගල් වැටියක් දාන්න.වැස්සක් එනවනම් පුලුවන්නම් ටෙන්ට් රෙද්දකින් හරි පරණ ගෝනි ටිකක් දාල හරි,ඉටි කොල ටිකක් දාල හරි ආරක්ශා කරගන්න.සිමෙන්ති සහ කම්බි ගේනවනම් වැඩේ පටන් ගන්න කිට්ටු කරලම ගේන්න.ගෙනත් නොතෙමෙන ස්ථානයක අනිවාර්යයෙන්ම තියන්න.නැතිනම් සිමෙන්ති හයි වෙනවා.කම්බි මලකඩ කනවා.හරි හරි….අදට ඇති.අතත් රිදෙනව… ආයෙත් දවසක ගෙවල් ගැන විස්තර ලියන්නම්.හැමෝටම සුභ දවසක්…

තමාගේම නිවසක සිහින දකින ඔබට…(4 කොටස )

 


අපි හැමෝගෙම ආසාව තමයි දුක් මහන්සියෙන් හදා ගන්න නිවසේ කාටවත් කරදරයක් නැතුව සුවෙන් සතුටෙන් වාසය කිරීම.ඒත් හමහරවිට අපි නොදැනුවත්වම හෝ දැනුවත්වම හෝ නොසැලකිල්ලෙන් හෝ නීතිමය වශයෙන් සිදුවන වැරදි වලින් නිවැසියාගේ මානසික සුවය පමනක් නොව ආර්ථිකයද දෙදරා යා හැකියි.අද බලමු නිවසක් ඉදි කිරීමේදී සිදුවිය යුතු නීතිමය කරුණු මොනවද කියලා….

1. මුලින්ම ඉඩමක් මිලට ගැනීමේදී එහි නිරවුල් ඔප්පු තිබේදැයි සොයා බලන්න.ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය මගින් මේ පිලිබඳ වැඩි දුර සොයා බලන්න පුලුවන්.පවුලේ ඉඩමක උනත් ඉදි කිරීමක් කිරීමට පෙර තමාට හිමි ඉඩම් කොටස නීතිමය වශයෙන් වෙන්කර ගැනීම ඉතා වැදගත්.මොකද කියනවනම් ඇතැම් විට එවැනි හේතු නිසා එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පවා ගැටුම් ඇතිවන අයුරු අප කොතෙකුත් දැක ඇත.
 
2. නිවසට පිවිසීමේ මාර්ගය පිලිබඳව අනිවාර්යෙන් සොයා බලන්න.මේ සඳා වීථි රේඛා සටහනක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබාගන්න.
 
3. ඉදිකිරීමට බලාපොරොත්තුවන ගොඩනැඟිල්ලේ සැලසුමක් ඉඩම් කැබැල්ල අයත් වන නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරවා ගන්න.නගර සභා සහ ප්‍රාදේශිය සභා සීමාවක් තුල අනවසරයෙන් කිසිම ගොඩනැගිලි ඉදි කිරීමක් හෝ වෙනස් කිරීමක් කල නොහැක.එය නීතිමය වශයෙන් ඳඬුවම් ලැබිය හැකි ක්‍රියාවකි.නිවැරදි සැලසුමක් අනුමත කරගැනීමෙන් අපට අත්වන වාසි රැසකි.
 
(-) ගොඩනැඟිල්ල ඉදි කිරීමට මුදල් ප්‍රමානවත් නොවී මූල්යාතනයකින් නිවාස ණයක් ලබා ගැනීමේදී නිරවුල් ඔප්පු සහ අනුමත වු සැලසුම අනිවාර්යයෙන් එදිරිපත් කල යුතුය.
 
(-) පසු කාලීනව සිදුවන දැවැන්ත ඉදිකිරීමකදී (අදිවේගී මාර්ග ) ඔබේ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට සිදු උනොත් ඒ සඳහා වන්දියක් ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුය.
(-) හදිසි විපතකින් ඔබේ නිවසට හානි වුවහොත් ඒ සඳහා වන්දි ලබා ගැනීමට අනුමත සැලසුම ඉදිරිපත් කල යුතුයි.
 
(-) පසු කාලීනව ගොඩනැගිල්ලේ වේසක් කර ඉය අනුමත කර ගනීමේදී පෙර සැලසුනේ අනුමත පිටපතක් ද ඉදිරිපත් කල යුතුය. (අනුමත නොකරගෙන සාදන ලද ගොඩනැඟිල්ලක් පසුව අනුමත කිරීමට යාමේදී පසුගිය වසර ගනනට අනුව දඩ මුදලක් ගෙවීමට සිදුවේ.)
 
4. ඉඩමක මායිමක් හෝ ඉනි වැටක් කිසිම ලෙසකින් නිසි අවසරයකින් තොරව වෙනස් කිරීමට අවසරයක් නොමැත.ඉඩම් කට්ටි කිරීමේදී යොදා ගන්න මායිම් ගල් ගැලවීමට හෝ වෙනස් කිරීමට නොහැක.
 
5. ප්‍රාදේශීය සභා සීමාවක නිවසට පිවිසෙන මාර්ගයේ මද්ය ලක්ශ්යයේ සිට ගොඩනැඟිල්ලට ඇති දුර අවම අඩි 20 ක් විය යුතුය.(මෙම අඩි ප්‍රමානය ප්‍රාදේශීය සභාව අනුව වෙනස් විය හැක.නගර සීමා වලද මෙය වෙනස් වේ)
 
6. ගොඩනැඟිල්ලේ වහලේ මායිමේ සිට අනිත් එඩමේ මායිමට ප්‍රාදේශීය සභා සීමාවක අවම අඩි7′ ක් තිබිය උතුය.ජනෙල් හෝ දොරවල් නොමැති හිස් බිත්තියක් පමණක් නම් අඩි5ක් විය උතුය.එසේ නොමැතිනම් අනෙක් ඉඩමේ මායිමටම කර ගොඩනැඟිල්ල ඉදි කර හැක.එහිදී කිසිවිටෙකත් වහලය අනෙක් ඉඩමට පැන්නවිය නොහැක.වැසි වතුර අනෙක් ඉඩමට නොවැටෙන ලෙස සෑදිය උතුය.ජනෙල් හෝ දොරවල් කිසිවක් නොතැබිය යුතුය.ආලෝකය ලබා ගැනීමට පමනක් වීදුරු ගඩොල් වැනි දෙයක් පාවිච්චි කර හැක.
 
7. ප්‍රාදේශීය සභා සීමාවක නම් වැසිකිලි වල සහ ලිඳ අතර අවම අඩි 40ක් වත් දුරක් තිබිය උතුය.මෙයද නගර සීමාවකදී අඩි 30ක් පමන වන තුරු අඩු වේ.
 
8. නිවසේ සෑම කාමරයකම බිත්ති වල වර්ග ප්‍රමානය මෙන් 1/8ක් ප්‍රමානයක් විවෘත විය (දොර, ජනෙල්) යුතුය.එසේ නොහැති අවස්තා වලදී මැද මිදුලක් නිර්මානය කර වාතාශ්‍රය සඳහා ජනේල තැබිය හැක.

තමාගේම නිවහනක සිහින දකින ඔබට…(3 කොටස )

 

 
කොහොමද යාලුවනේ…ටික දවසක් ගියා මේ ලිපිය ලියන්න.පහු ගිය ටිකේම එකසිය ගානට වැඩ.කලින් ලිපියෙන් නීති රීති ගැන කතා කරන්න පොරොන්දු වුනත්, කීප දෙනෙක්ම අහපු නිසා වාස්තු විද්‍යාත්මක කරුණු ටිකක් ලියන්නම්.

 
බුදු දහමට අනුව නම් ජෝතිශ්‍යය,නැකත්,පලාපල ආදිය වැටෙන්නේ තිරස්චීන විද්‍යා(තිරිසන් විද්‍යා)වලට.හැබැයි ඒවා බොරු දේවල් බව නම් කොහේවත් සඳහන් වෙන්නේ නෑ.තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් ඉන්නවනම් මේ කිසිම දෙයක් වැඩක් නෑ.ඒත් ගෘහ නිර්මාන ශිල්පයට අදාල වැදගත් විද්‍යාත්මක කරුණු වාස්තු විද්‍යාවත් එක්ක බැඳිලා තියනවා.ඒවා ටිකක් මොනවද බලමු.
 
 
 
 
 
ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ බව.
 
 
 
 
 
චතුරස්‍ර ඉඩම-සම චතුරස්‍ර හෝ සෘජුකෝනාශ්‍ර ඉඩම්ක ඉදිකරන නිවසක වෙසෙන්නන්ගේ ආර්තිකය වර්ධනය වනබවත්,ප්‍රීතිමත්ව දිවි ගෙවන බවත් කියවේ.

 
ත්‍රිකෝණ ඉඩම-මෙය වාසයට සුදුසු නොවන බව කියැවේ.වාස්තු විද්‍යාවට අනුව භය ඇතිකරන බව කියවේ.
 
 
 
 
 
 
පරස්පර මායිම් ඇති ඉඩම-මෙවැනි ඉඩමක වෙසෙන්නන් නිතර ශෝක වන බව කියැවේ.

 
චක්‍රා කාර ඉඩම-මායිම් චක්‍රාකාර මෙවැනි ඉඩම් වාසනාවන්ත බවත්,ජයග්‍රාහී බවත් කියැවේ.

 
වෘත්තාකාර ඉඩම්-ඉතා දුලබ ඉඩමකි.ඉතා අශුභ බව කියැවේ.
 
 
 
 
 
දණ්ඩාකාර ඉඩම්-දිගින් ඉතා වැඩි පලලින් ඉතා අඩු ඉඩම් සාමන්‍ය ඵල ගෙනෙන බව කියැවේ.

 
පතාකාර ඉඩම්-මුල පලල්වත් අග සිහින්ව ඇති මෙවන් ඉඩම් ඉතා යහපත් බව කියැවේ.

 
මෙසේම බෑවුම් අනුවද ඉඩම් වල සුභ අසුභ බව වර්ගීකරනය කෙරේ.
 
 
 
 
 
 
ගිණිකොන දෙසට බෑවුම් ඇති ඉඩම් වලට ගිනි,ආයුද,වස විස,ආදියෙන් අනතුරු විය හැකි අතර දකුණට බෑවුම් වන ඉඩමක නිතර අපල උපද්‍රව වලට ලක්වන,රෝගාභාද වලට ලක්වන බවත්,බටහිරට බෑවුම් වන ඉඩම් වල වෙසෙන්නන්ගේ දියුණුවට බාධා වන බවත් දරු ඵල අහිමි වීම් සිදුවිය හැකි බවත්,ශෝකාකූලව වෙසෙන බවත් කියැවේ.වයඹට ආනති වූ ඉඩමක වෙසෙන්නන් සම ඵල ගෙනදෙන අතර විදේශ ගත වීම් සිදුවියහැකි බව කියැවේ.උතුරු දිශාවට බෑවුම් වන ඉඩම් රාජ සම්පත් ගෙන දෙන බවත් දිනෙන් දින දියුණු වන බවත් කියවේ.
 
 
ඉඩමේ ජලය බැසයන පැත්ත බෑවුම් පැත්ත වේ.තම ඉඩමේ බෑවුම අසුභ දිශාවකට වේනම් ජලය බැස යන දිශාව වෙනස් වන පරිදි පස් පුරවා හෝ පස් කපා අසුභ බව මඟ හරවා ගත හැකි බව පොත පතේ සඳන් වේ.
 
 
 
 
 
 
ඊලඟ ලිපියෙන් ඉඩමක පාද බෙදීම ගැන කියන්නම්…
 
 
 
 
(මේවා බොහෝ විට ඉන්දියානු බ්‍රාහ්මීය සහ හින්දු මතයට ගොඩනැගුනු දේවල්ය.වෙසෙන භූමිය සුභ හෝ අසුභ වන්නේ වෙසෙන්නන්ගේ ගුන යහපත් කම මතය.මෙම කරුණු ඉදිපත් කරන්නේ යන්තම් දැනගැනීම සඳහා මිස මේ දේවල් හිස තබාගෙන ජීවිතය අවුල් කර ගැනීමට නොවේ.තෙරුවන් කෙරේ විශ්වාසයෙන් වෙසෙන්නන්ට කිසිදු ග්‍රහ,අමනුශ්‍ය,භූමි දොශයක් සිදු නොවන් බව නැවතත් මතක් කර දෙමි)

තමාගේම නිවහනක සිහින දකින ඔබට…(2 කොටස )

 


අද අපි බලමු නිවසට ඔබින සැලසුමක් සකස් කර ගැනීමේදී හොයල බලන්න ඕනි කරුණු මොනවද කියලා…

1.තමාගේ අභිමතයට ගැලපෙන පරිදි සැලැස්ම සකස් කර ගැනීම.
තමන් අමාරුවෙන් හම්බකරන මුදල් වියදම් කරලා හදන ගේ තමන්ට ඕනි විදිහට, සැලසුම් ශිල්පියා සමඟ සාකච්ඡා කරලා ලස්සන ප්ලෑනක් ඇඳ ගන්න.ඒත් මතක තියා ගන්න, ඔබ දැඩි මතයක නොසිට සැලසුම් ශිල්පියා සමඟ සාකච්ඡා කරන්න.මක් නිසාද යත් ඔබට වඩා බොහෝ දුරට ඔහුට අත්දැකීම් සහ නිවාස සැලසුම් පිලිබඳව දැනීමක් තිබිය හැක.

2.තමාගේ ආර්ථික මට්ටමට සරිලන පරිදි සැලැස්ම අන්දවා ගන්න.

හුඟ දෙනෙක් අමාරුවේ වැටෙන තැනක් මේක.බොහෝ දෙනෙක් ගෙවල් හදන්න උත්සාහ කරන්නේ අහල පහල තියන ගෙවල් වලට වඩා,නැත්නම් තමන්ගේ නෑයින්ගේ ගෙවල් වලට වඩා ලොකුවට.ගෙවල් හැදීම තරඟයක් කරගන්න එපා.සල්ලි ඕනි තරම් තියනවනම් කමක් නෑ.ඒත් මද්‍යම පාන්තික කෙනෙක් නිකන් බොරුවට අති විශාල නිවසක් හදන්න යනවා කියන්නේ අවුරුදු ගානක් (සමහර විට ජීවිත කාලය පුරාම ) ගේ හදනවා කියන එකයි.සාමාන්‍යයෙන් නිවසක් හදලා ඉවරවෙද්දී වර්ග අඩියකට රුපියල් 2750-3000 විතර මුදලක් වියදම් වෙනවා.ඉතින් අතේ තියන මුදල සහ වියදම් කරන්න පුලුවන් උපරිම මුදල කල්පනා කරලා ඔබට අවශ්‍ය කොපමන තරමේ වර්ග අඩි ප්‍රමානයක නිවසක්ද කියලා සැලසුම් ශිල්පියාට කියන්න.

3.භූමියට ගැලපෙන සැලැස්මක් අන්දවා ගන්න.

කඳු බෑවුම්, තැනිතලා දිශාවන්ට අනුව ගැලපෙන සුදුසුම සැලැස්මක් අන්දවා ගන්න.මේ සම්බන්දව සැලසුම් ශිල්පියාගේ අදහස් විමසන්න.

මෙසේ හොඳ සැලසුමක් ඇඳ ගැනීමට පලපුරුදු හොඳ සැලසුම් ශිල්පියෙක් තෝරා ගන්න.සෑම සැලැස්මක්ම නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාව මඟින් අනුමත කර ගත යුතුබව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි.අනුමත වන තුරු ඔබට ඔබේ ඉඩමේ ඉදි කිරීමක් කිරීම නීති විරෝධී ක්‍රියාවකි.ඒ සම්බන්ධ නීති රීති මගේ ඊලඟ ලිපියෙන් කියන්නම්.දැන් නම් හොඳටම නිදි මතයි.මොනව හරි දැනගන්න ඕනිනම් කොමෙන්ට් එකේ දාන්න.දන්න දෙයක් නම් අනිවා… කියා දෙනවා…නොදන්න දෙයක් නම් කාගෙන් හරි අහලා හරි කියා දෙනවා….

ඔබගේම නිවහනක සිහින දකින ඔබට….(1 කොටස )

 


හුඟ කාලෙකින් ප්‍රයෝජනවත් දෙයක් ලියන්න බැරි වුනා.අලුතෙන් නිවාසයක් එහෙම හදන්න කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මේ ලිපි පෙල ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.මගේ Auto CAD පාඩම වගේ මේකත් අතර මඟ නවතියි කියලා හිතන්න එපා.Auto CAD පාඩමත් ආයෙමත් හෙට අනිද්දාම පටන් ගන්නවා…

නිවසක් තැනීමේදී සැලකිය යුතු මූලික කරුණු 2කි

1. සුදුසු භූමියක් තෝරා ගැනීම. 
2. භූමියට සරිලන සැලසුමක් සහ ඇස්තමේන්තුවක් සකස් කර ගැනීම.

අපි මේවා ටිකක් විස්තරාත්මකව විමසලා බලමු.භූමියක් තෝරා ගැනීමේදීත් හොයල බලන්න ඕනි කරුණු කීපයක්ම තියනවා.

1. පිහිටි ආකාරය
තැනිතලාවක්ද බෑවුමක්ද නතිනම් පස් කපා මට්ටම් කර යුතු භූමියක්ද ,එසේ කපා ඉවත් කරන්නේ නම් කොපමන දුරකට ප්‍රවාහනය කල යුතුද, නතිනම් පස් පිරවිය යුතුනම් ඒ සම්බන්ධවද සලකා බැලිය යුතුය.ඉඩමට හොඳ ප්‍රවේශ මාර්ගයක් (අවම අඩි 10ක් වත් පළල මාර්ගයක්)තිබේදැයි බැලිය යුතුය.

2.භූමියේ උස ප්‍රමාණය සහ පිහිටි දිශාව
මුහුදු මට්ටමේ සිට ඇති උස සහ ගංගා පොකුණු වල සිට ඇති උස සලකා බැලීමෙන් ජල ගැලීම් ආදී උවදුරු වලින් සිදුවියහැකි අනතුරු පිලිබඳව යම් නිගමනයකට එලඹිය හැක.එසේම දිශාව පිලිබඳව සැලකීමේදී නිවසට හෝ ගොඩනැඟිල්ලට මනා පෙනුමක් ගෙන දෙන දිශාව සහ මනා හිරු එලියක් ලැබෙන සහ මනා වාතාශ්‍රයක් ලබෙන දිශාවන් පිලිබඳව සලකා බැලේ.

3. සේවා පහසුකම්
මේ යටතේ ජල, විදුලිය, දුරකතන සම්බන්ධතා,ජංගම දුරකථන ඇත්නම් සංඥා තත්වය, රූපවාහිනී සංඥා තත්වය පිලිබඳව සොයා බැලිය යුතුයි.

4.ආසන්න පිහිටීම්
ප්‍රධාන මාර්ග වලට ඇති දුර,පාසැල් වලට, ආගමික ස්ථාන වලට, වෙලඳපොලට, රෝහල් වලට, දුම් රිය බස් නැවතුම් ආදියට ඇති දුර පිලිබඳව සොයා බැලිය යුතුය.

5.ඉඩමේ ප්‍රමාණය
අනාගතයේ දී යම් වෙනස් කමක් හෝ නව ඉදිකිරීමක් කිරීමට බලා පොරොත්තු වේ නම් ඒ සඳහා සැලකිය යුතු තරමේ ඉඩමක් වීම.

6. වටිනාකම
දැනට ඉඩමේ වටිනාකම සහ අනාගතයේදී අතිවියහැකි වටිනාකම පිලිබඳව සලකා බැලීම.

7. අමුද්‍රව්‍ය සුලභත්වය
නිවස තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය (ගල්,වැලි,ගඩොල්) පහසුවෙන් සපයා ගත හැකි බව.මෙමඟින් පිරිවැය අවම කල හැක.

8. පසෙහි ස්වභාවය
අත්තිවාරම් වලට බලපෑම් ඇතිවි හැකි බැවින් පසේ ස්වභාවය පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කල යුතු දෙයකි.භූ පැලුම්,දෝනා ආදිය ඇති ඉඩම් මිලදී ගැනීමෙන් හැකි තාක් වලකින්න.

9.හිමිකම් වල ස්වභාවය.
මිලදීගැනීමට පෙර අනිවාර්යෙන්ම සොයා බැලිය යුතු කාරනයකි.වසර 30ක් වත් නිරවුල් හිමිකම් අතීතය පිලිබඳව සොයා බලන්න.තෑගි ඔප්පු, ප්‍රාන භුක්ති ඇති දේපල, හවුල් දේපල ආදිය විකිනීමේදී ගැටලු ඇතිවිහැකි බැවින් මනාව සොයා බලන්න.

ඉතින් අදට මෙච්චරයි.ලබන සතියේදී තවත් විස්තර ටිකක් කියන්නම්.ලබන සතියේ සුදුසු සැලැස්මක් සහ ඇස්තමේන්තුවක් සාදා ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා බලමු.දැනටමත් ඉඩමක් තියන අය මේ කරුණු තමන්ගේ ඉඩමේ නෑ කියලා හිත නරක් කර ගන්න එපා.මේවගෙන් ටිකක් හරි තියනවනම් සතුටු වෙන්න.නැතත් නොයෙක් ඉදිකිරීම් ක්‍රම මගින් ඔබේ සිහින නිවස සැබෑවක් කරගන්න පුලුවන්

Auto CAD පලවෙනි පාඩම (1)

සිංහලෙන් බ්ලොග් ලියන ඒකේ තියන ලොකුම වාසිය තමයි ඉංග්‍රිසියෙන් කියවලා අවබෝධ කරගන්න බැරි හුගක් දේවල් අපිට අපේ භාශාවෙන්, ඒ කියන්නෙ සිංහලෙන් කියවල අවබෝධ කරගන්න පුලුවන් එක.ඉතින් මට හිතෙන්නෙ මේ වෙබ් ඉඩ ප්‍රයෝජනවත් දේකට යොදාගතොත් හොදයි කියල.අපි දන්න දේවල් අනිත් අය අතර බෙදා ගන්න වගේම අනිත් අය දන්න දෙවල් කියවල අපෙ දැනුම පුලුල් කරගන්නත් තියන හොදම මාධ්‍යයක් මේක.මොකද ලංකවෙ පරිගනක පාවිචි කරන හැමෝටම ඉංග්‍රිසි හොදටම බෑනේ…
 
 
අද මට හිතුනා Auto CAD ගැන විස්තර ටිකක් ලියන්න.මම කලින් පොරොන්දු උනානෙ Auto CAD ගැන ලියනව කියලා.මම පරිගනක පාවිචි කරන්න මුලින්ම පටන්ගතෙ මීට අවුරුදු 8 ට කලින් ඒ කියන්නෙ 2000 විතර.මම ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් ඒකක් ඉගන ගන්න සෑහෙන්න උත්සාහ කරා.හරි ගියේ නැඇ.අහම්බෙන් වගෙ අපෙ අම්ම දාපු ඉලුම්පත්‍රයකට මට කාර්මික විද්‍යාලයේ සැලසුම් ශිල්පය හදාරන්න හම්බුනා.පස්සෙ මට පොඩි රැකියාවක් හම්බුනා කඩවත පැත්තෙ.එතන හිටපු මහානාම කියන අයියගෙන් තමයි Auto CAD ටිකක් අහගත්තේ.පස්සේ වෙනත් ජපන් සමාගමක Draughtsman කෙනෙක් විදිහට මට ජොබ් එක හම්බුනා.එතනින් තමයි 2D සහ 3D හරියටම ඉගෙන ගතෙ.දැන් වසර 4 ක් පමණ වැඩ කරන්නෙ එතන.හදිස්සියේම ඩුබායි ශාඛාවට මාරුවක් හම්බ උනා.දැන් ඒහේ ඉන්නෙ.
 
 
 
Auto CAD කියන මෘදුකාංගය හදල තියෙන්නෙ ලොව සුපිරි මෘදුකාන්ග නිශ්පාදන අයාතනවක් වන Auto Desk (http://www.autodesk.com/) ආයතනය විසින්.සුප්‍රසිද්ධ 3D Max සහ Maya කියන මෘදුකාංගත් නිපදවන්නේ මොවුන්ගොඩනැගිලි ඉදිකිරීම්,විදුලිමය ඉදිකිරීම්,කාර්මික ඉදිකිරීම් ආදී ක්ශේස්ත්‍ර වලදී මුලින්ම කරන්න කාර්යන්ගෙන් එකක් තමයි ඉදිකිරීම් සැලසුම් සකස් කිරීම.මේ සැලසුම් ඉස්සර නම් අතින් තමයි ඇන්දේ.Auto CAD කියන්නේ ඒ වෙනුවට ආපු පරිගනක මෘදුකාන්ගයක්.මෙහිදී ඉතා පහසුවෙන් ද්වීමාන(2D) හෝ ත්‍රිමානව(3D) සැලස්මක් අදින්න පුලුවන්.ගෘහ නිර්මාන සැලසුම් කිරීමට, electrical , Mechanical නිර්මාන සැලසුම් කිරීමට නම් Auto CAD තමයි හොදම සහ ලේසිම.හැබැයි අති සූක්ශම යන්ත්‍ර කොටස් එහෙමAuto CAD වලින් ත්‍රිමාන කරනවාට වඩා Solidworks (http://www.solidworks.com/) වගේ මෘදුකාන්ගයක් යොදා ගන්න ඒක හොදයි.
 
 
 
ඉස්සෙලාම අපු Auto CAD ඒකේ නම Release 1.ඒ 1982 අවුරුද්දෙ.ඊට පස්සෙ Release 2 සිට Release 14 දක්වා ආවා.Release 14 ආවේ 1997 අවුරුද්දේ. Release 14 න් පස්සෙ Release කතාව අයින් කරල Auto CAD 2000 කියල එලියට අවා 1999 අවුරුද්දෙ මාර්තු මාසේ.ඒක සෑහෙන්න ජනප්‍රිය උනා.ඉන් අනතුරුව අවුරුදක් පාසාම නවීකරණය වෙමින් අලුත් අංග එක් වෙමින් 2002, 2004, 2005, 2006, 2007, 2008ලෙස එලි දැක්වුවා.දෑනට තියන අලුත්ම එක 2009.සාමන්යෙන් Auto Desk මෘදුකාංග ටිකක් ගනන් වැඩියි. Auto CAD 2009 ඔරිජිනල් ඒකක් ගන්නවනම් $750 විතර වෙනව.එහෙම ගන්න අපිට කෝ සල්ලි? ලංකවෙදි නම් මෘදුකාංග ඒ තරම් ප්‍රශ්නයක් නැඇ.රු 150-200 අතර මුදලකට ඕනි ඒකක් ගන්න තියනවනේ.මම ඉන්න U.A.E වගෙ රටක වැඩේ අමාරුයි.ඔක්කොම ඔරිජිනල් මෘදුකාංග. ලැප්ටොප් එකක් ගනිදි උනත් ඒකෙ windows vista (or another) ඔරිජිනල් කොපියක් තියනව.හොර කොපි කඩෙන් ගන්න අමරුයි.ඉතින් මම torrent පිහිටපැතුවා. http://www.torrentz.com/ ඒකෙ බඩු තිබුන.බෑව.බාන්න දවස් 2ක් විතර ගියා.Torrent වල සමාන්‍යයෙන් වයිරස් පිරිලනෙ.වෙලවට මේක අවුලක් නෑ.මේකෙ Crack එකත් තියනව.install කරන ඒක එචරම අමරු නෑ.

1. මුලින්ම Auto CAD 2009 එක ඩබල් ක්ලික් කරන්න.එවිට නිශ්තිත තැනකට දත්ත ගොනු දිගහැරෙයි.ඔයාලට ඕනි තැනක් බ්‍රව්ස් කරල පෙන්නනත් පුලුවන්.

2. දිග ඇරුනට පස්සෙ ඉබේම install වෙන්න පටන් ගනිවි.මේකට ටිකක් වෙලා යයි.පින්තූර ටික බලන්න.

3. දැන් Auto CAD ක්‍රියාත්මක කරවන්න.මෙවර තියන අයිකනය ටිකක් වෙනස්.3D විඩිහට රතු පාටින් තමයි තියෙන්නෙ.(මීට කලින් රතු පාට අයිකනයක් තිබුනෙ Auto CAD 2000). එතකොට අහවි තවකාලික දින 30කට පමනක් ක්‍රියත්මක කරන්නද, නැත්නම් Activate කරන්නද කියල.”Activaie the product”යන්න තෝරන්න. ‘Next’ කරන්න.

4. දැන් ‘Request code’ යන්න කොපි කර ගන්න.මේ ලැබෙන අංකය පරිඝනකෙන් පරිඝනකෙට වෙනස්.ඒක හැදෙන්නෙ පරිඝනකයටම ආවේනික Network Card ඒකෙ හදුනා ගැනිමේ අංකයට අනුවලු.(වැරදිනම් නිවැරදි කරන්න )

5. දැන් Crack ලිපි ගොනුවට ගිහින් ‘xf-acad9’ ක්‍රියත්මක කරන්න.ඒහි අති ‘Request code’ ස්තානයට පෙර කොපි කරගත් අංක ටික දමන්න.

6. ‘Generate’ බොතම ඔබලා ලැබෙන Activation Code අංකය නැවත කොපි කර Auto CAD හි ‘Enter An Activation Cade’යන තැනට paste කරන්න.

7. Next කරන්න.හරියට වැඩේ සිද්ද උනා නම් “Thank you for Registering and activating you’r product”කියලා පෙනෙයි.දැන් Finish බොත්තම ඔබන්න.සුලු මොහොතකින් Auto CAD 2009 ක්‍රියාත්මක වේවි.


උවමනා කෙනෙකුට Crack එකනම් මට ඊ මේල් මගින් එවන්න පුලුවන්.ඒත් Auto CAD 2009 මෘදුකාංගයනම් එවන්න අපහසුයි.ඒක 1.2 GB.ඔන්න Auto CAD 2009 install කරා.මට පුලුවන් විදිහට තමයි විස්තර කරේ.අවුලක් නම් ඊ මේල් ඒකක් එවන්නකෝ.නැත්නම් කොමෙන්ට් එකක් දාන්න.
ඊලග දවසේ බලමු කොහොමද Drawing එකක් අන්දින්න පටන් ගන්නෙ කියලා…කියවපු හැමදෙනාටම ස්තුතියි

බිම් ගඩොල්

බිම් ගඩොල්

බිම් ගඩොල් වර්තමාන‍යේ බො‍හෝ නි‍‍‍‍‍වෙස් සෑදි‍මේදී නිව‍‍‍‍ෙස් බිම අලංකාර කිරීම සදහා ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ති‍‍‍බෙන ගොඩනැගිලි දුව්‍ය වි‍ෙශ්ෂයකි.එම නිසා අද ‍‍‍‍‍බොහෝ

‍‍‍‍දෙනා තමන්‍ ගේ නි‍‍‍‍‍වෙස් සූන්දරව සහ සිත්ගන්න‍‍ා සුළු ආකාර‍යෙන් පවත්වා‍‍ ‍‍‍‍‍ගෙන ‍‍යාම සදහා බිම් ගඩොල් භා‍‍විතා කරයි.

නිෂ්පාදන කි‍‍්‍රයා‍‍වලි‍‍ය

‍‍‍බෝල මැ‍‍ටි, සිලිකා වැලි‍‍,‍කෙ‍යොලින්, ඩොලමයිට්, පෙල්ස්පාර් බිම් ගඩොල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ‍වේ.බිම් ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ‍ක්‍රෂර් අංශය, ඇඹරැම් අංශය, විසිර වියලනය, මිශ්‍රණ අංශය , නිපැයුම් අංශය, ඔපදැමිම් අංශය, දහන අංශය, ‍තේරීම් අංශය සහ නිමි ගබඩාව යන අංශ අන්තර්ගතව ඇත. ක්‍රෂර් අංශය තුළදි සිදු කරනු‍‍යේ ගල් වශ‍යෙන් පවතින ‍‍ ‍ඩොලමයිට්,පෙල්ස්පාර් 8 mm ක ප්‍රමාණවලට කඩා ගැනිමයි. ඇඹරැම් අංශය තුළදි ‍‍‍බෝල මැ‍‍ටි, පෙල්ස්පාර්,‍ඩොලමයිට්, සිලිකා වැලි සහ ‍‍‍ කෙ‍යොලින් මැටි යන අමුද්‍රව්‍යවලින් අවශ්‍ය ප්‍රමාණයන්ට‍ අනුව එකතු කර වතුර සමග අඹරා ද්‍රාවණය නිකුත් කරනු ලබයි. ද්‍රාවණ‍යේ ඇති ජලය ඉවත් කර නිෂ්පාදනය සදහා අවශ්‍ය ‍‍කොටස් පවුඩර් ‍ ‍‍ලෙස නිකුත් කිරීම විසිර වියලන‍යේදි සිදු කෙ‍රේ. මෙම පවුඩර් ගබඩා ‍කරනුයේ විවිධ වර්ණවලට අයත් පවුඩර් වශ‍යෙනි. මිශ්‍රණ අංශ‍යේදි විවිධ වර්ණයන්‍ ගෙන් යුත් පවුඩර් වර්ග අවශ්‍ය ප්‍රතිශතයට අනුව මිශ්‍ර කිරීම කරනු ලබයි. මිශ්‍ර කරන ලද පවුඩර් බිම් ගඩොලක් ආකාරයට සකස් කිරීම නිපැවුම් අංශ‍යෙන් සිදු ‍කෙරේ. නිෂ්පාදනය කරන ලද බිම් ග‍ඩොල් මත මෝස්තර ‍ දැමීම සහ විනිවිද ‍‍පෙ‍නෙන ඔප තට්ටුවක් දැමීම ඔප දැමීම් අංශය මගින් සිදු කරනු ලබයි. දහන අංශ‍යේදී බිම් ග‍ඩොල් සෙ.අ1200 ක උෂ්ණත්වයක් යට‍තේ දහනය කරනු ලබයි. දහන අංශ‍යෙන් පිට වූ බිම් ග‍ඩොල් අන්තර්ජාතික තත්ත්ව ප්‍රමිතින්ට අනුකූලව වර්ග කර පෙට්ටිවලට ඇසිරීම තේරීම් අංශ‍යේදී සිදු‍වෙයි.මෙසේ ඇසුරැ පෙට්ටි ‍‍‍‍‍දේශීය සහ වි‍ ‍‍දේශීය ‍‍වෙළදපොළට අවශ්‍ය වන පරිදි සකසා නිමි ගබඩාව ‍‍‍වෙත යොමු කරනු ලැ‍බේ.

නිවසක‍ට බිම් ගඩොල් ඇතිරීම

නිවසක් ඉදි කරනු ලබන්නේ දීර්ඝ කාලයක් පවත්වා ගැනීම සදහාය. එමනිසා එහි අලංකාරය ‍ මෙන්ම ක්‍රමවත් නිමාව පිලිබදවද වැඩි අවධානයක් ‍‍‍යොමු කළ යුතුය. එමනිසා නිවසට ‍‍තෝරා ගන්නා අනිකුත් උපකරණ මෙන්ම බිම් ගඩොල් වර්ග පිළිබදවද අවධානය ‍‍‍යොමු කළ යුතුය. කිසියම් ‍ෙදයක අලංකාරය ‍‍‍මෙන්ම වටිනාකම තීරණය වන්නේ එහි උචිත අනුචිත බව අනුවය.එමනිසා ‍‍නො යෙක් ස්ථාන සදහා ගැළපෙන බිම් ගඩොල් වර්ග තිරණය කිරීම ඉතා වැදගත් කරැණකි. බිම් ගඩොල්හි වර්ණ ‍‍තෝරා ගැනීමේදීද වර්ණ‍යේ විචිත්‍රත්වයට නොව ගෘහභාණ්ඩ, බිත්ති‍යේ වර්ණයන්ට ගැල‍පෙන ලෙස තෝරා ‍ගැනීමටද කල්පනාකාරි විය යුතුය.

අවශ්‍ය උපකරණ

බිම් ගඩොල් ඇතිරිම ඉතා ක්‍රමානුකුලව කළ යුතු කාරණයකි.මෙය සදහා විවිධ උපකරණ අවශ්‍යය. එ‍පොක්සි ග්‍රවු‍ට් ෆ්ලෝට්, කොලොප්පු ‍පනාව, සාමාන්‍ය ග්‍රවු‍ට් ෆ්ලෝට්, ග්‍රවු‍ට් ෂෝ, රබර් මිටිය ඒ අතර ‍ වේ.

බිම් ගඩොල් වර්ග

සෑම පරිසරයකටම බිම් ග‍ඩොලක් සුදුසු වුවත් සෑම ක්‍රියාවලියකටම බිම් ගඩොල් සුදුසු ‍ නොවේ. එහිදී අවශ්‍ය ස්ථානය‍ට හා ක්‍රියාවලියට ගැළපෙන ග‍ඩොලක් තෝරා ගත යුතුය එමගින් ග‍ඩො‍ලේ පැවැත්ම , ලස්සන මෙන්ම ක්‍රමානුකුල බව වැඩි කාලයක් පවත්වා ගත හැකිය. ප්‍රධාන වශ‍යෙන් ගඩොල් වර්ග 11 ක් හදුනා ගත හැකිය. එවා නම් මැ‍‍ටි ෆිනිෂ් ‍ටයිල්, එක්වරක් ග්ලේස් දැමූ ටයිල්, දෙවරක් ග්ලේස් දැමූ ටයිල්, පොලිෂ් ටයිල්, රොක් ෆිනිෂ් ටයිල්, රස්ටික් ටයිල්, ස්‍ටඩඩ් ටයිල්, මතුපිට පමණක් ඔප දැමූ ටයිල්, ස්ටෙප් ටයිල්, ස්ක‍ටින් ටයිල් සහ වෝල් ටයිල් වේ.

යටලී මූට්‌ටු

යටලී මූට්‌ටු පේළිය නිතරම එකට සමාන විය යුතුයි

පියස්‌සක අත්තිවාරම වශයෙන් සැලකෙන්නේ යටලීයයි. බිත්ති යටලීය, තුලේ යටලීය හා මුදුන් යටලීය වශයෙන් මේවා ප්‍රභේද වෙයි. ගලෙන් හෝ ගඩොලින් හෝ බ්ලොක්‌ ගලකින් ගොඩ නැන්වෙන බිත්තිය මත එළන යටලීය බිත්ති යටලීය වන අතර ගෙයි දිග මැන ඒ අනුව එහි පේළි ප්‍රමාණය ගණනය කර ගනී. අනතුරුව මුදුන් යටලීයට අවශ්‍ය ආකාරයට දැව කපා ගැනීම කරති. දෙපළ වහළක්‌ නම් මේ කටයුත්ත එතරම් අසීරු නැත. කුරුන්චි කරන ලද දෙපස බිත්ති දෙක මත මුදුන් ලීය තැබීමෙන් වහලේ සමබරතාවය කෙසේ දැයි සලකා බලති. ගෙයි අත්තිවාරමේ සිට මුදුන් බිත්තියට ද බිත්ති යටලීයට ද තිබෙන උස මෙහිදී සමබර විය යුතුය. අනතුරුව මුදුන් යටලීයටත් බිත්ති යටලීයටත් අතර එළන තුලේ යටලීය සකස්‌ කරති. මේ ආකාරයට වඩු ශිල්පියා සිය ශිල්පීය ඥානයෙන් යුතුව සකස්‌ කරන යටලීයේ පිරිද්දුම් ගැන වාස්‌තු විද්‍යානුකූලව සලකා බැලීම කළ යුතුය.

යටලීයක්‌ සකස්‌ කරන කල්හි මූට්‌ටු කීපයක්‌ තිබිය හැකිය. එහිදී ලී දෙකක්‌ එකට යාවන පරිදි පිරිද්දීමක්‌ හෙවත් පෙරොත්තමක්‌ යෙදිය යුතුය. කිඹුල්තල්ල හෙවත් කයිනොප්පුව මේස මූට්‌ටුව ඇණ මූට්‌ටව පලූ පොරොත්තම හා බක්‌කය වශයෙන් මූට්‌ටු යෙදීමක්‌ වඩු ශිල්පීන් අතර දක්‌නට හැකිය. මෙයින් කිඹුල්තල්ල හා මේස මූට්‌ටව පමණක්‌ නිවෙස්‌ සඳහා යොදා ගතිති. ඇණ මූට්‌ටව වශයෙන් ගැනෙන්නේ ලීදෙකක්‌ ආනතියට කපා ගෙන එහි කුඩුම්බි කපා ඒවා ඇණවලින් මූට්‌ටු කිරීමයි. යකඩ ඇණ යටලී සඳහා යොදා ගැනීම සුදුසු නැත. ඒ මගින් වාස්‌තු පුරුෂයාගේ අවයවවලට හානි සිදුවේ. පලු පෙරොත්තමේ ද එසේමය. යටලී දෙකක්‌ එකට තද වීම අත්‍යවශ්‍ය වන අතර මෙම මූට්‌ටවේ දී එය සිදු නොවේ. බක්‌කය පමණක්‌ ඇතැම් විට බිත්තියෙන් පන්නන ලද යටලී තැබීමට භාවිත කෙරේ . එහෙත් කිසිවිටක නිවෙසක යටලී දෙකක්‌ මූට්‌ටු කිරීමට එම ක්‍රමය යොදා නොගනී.

කම්හල් පාසල් ගොඩනැගිලි කාර්යාල ආදී පොදු ගොඩනැගිලි සඳහා පමණක්‌ මේ යටලී මූට්‌ටු යොදා ගැනීම සුදුසු වේ යෑයි කිව හැකිය. කිඹුල් තල්ල හා මේස මූට්‌ටු පමණක්‌ නිවාසවල යටලී මූට්‌ටු කිරීමට සුදුසු ය. එයිනුත් මේස මූට්‌ටුව ඉතා ප්‍රශස්‌තය. පැරණි විහාර ගොඩනැගිලිවල මූට්‌ටු විමර්ශනය කර බැලුවහොත් මේ මේස මූට්‌ටව යස අගයට යොදා ගෙන ඇති හැටි දැකිය හැකිය. අඟල් හයේ පහේ බාල්කයක්‌ වුවද ඒ ක්‍රමයට නිවැරැදි ලෙසට පිරිද්දිය හැකිය. එහිදී ලී දෙක කිටි කිටියේ එකට තද වී එක්‌ ලීයක්‌ බවට පත් වේ. මෙහිදී දොස්‌ එහි රැඳෙන්නේ නැත. කිඹුල තල්ල නොහොත් කයිනොප්පුව හඳුන්වා දී ඇත්තේ බටහිර පාලන සමය තුළයි. ආනතියට කපන ලද ලී දෙකක්‌ එකට යා කිරීම මෙහි බලාපොරොත්තුවයි. පෑන්කෑල්ල නම් ලී කූඤ්ඤයකින් මේ ලී දෙක කිටි කිටියේ එකට තද විය යුතුය.

වර්තමාන නිවෙස්‌ සඳහා අප පොල් ලී හා වෙනත් විවිධ ලී වර්ග භාවිත කරමු. මේ ලී එකට යා කිරීමට බහුලව යෙදෙන්නේ කිඹුල් තල්ල මූට්‌ටුවයි. ඒවා විමර්ශනය කර බැලුව හොත් පෙනෙන්නේ මේ ලී දෙක අතර විශාල ඉඩව්වක්‌ පවතින බවයි. මේ තත්වය නිර්මාණය කර ගැනීමෙන් සැබැවින්ම දොස්‌ හා භුත බලපෑම් නිවෙස තුළට වැද්ද ගැනීම කෙරෙයි. අවශ්‍ය වන්නේ ලීදෙක කිටිකිටියේ තද වීමයි. එය හරි හැටි ඉටු නොකරන වඩු ශිල්පියෙක්‌ වේ නම් නිවැරැදි ක්‍රමය කියා දීම අපගේ යුතුකම වේ. යටලී මූට්‌ටු පේළිය නිතරම එකට සමාන්තර විය යුතු යෑයි නියමයකි. කිඹුල් තල්ලේ ආනතිය වමට ඇත්නම් ඊළඟ යටලීයේ ද ආනතිය වමට විය යුතුය. එහිදී දකුණට යෙදීම හඳුන්වන්නේ කත් ලීය යනුවෙනි. වත්මන් වඩු ශිල්පීහු කාරණා නොදැන මේ පිහිටීම ඇති කරති. මෙයින් විපතක්‌ ඇති වන්නේ ගෙයි හිමියාටයි. ඇතැම් විට ජීවිතයෙන් පවා වන්දි ගෙවීට සිදු වූ අවස්‌ථා දක්‌නට ඇත. මෙයට හේතුව යටලී මූට්‌ටුව මගින් නිකුත් කරන ශක්‌ති තරංගය පහළට ගමන් කරමින් එකිනෙක කැපී යැමයි. එය අපට ඇහැට නොපෙනේ. නමුත් එය ක්‍රියාත්මක වේ. සමාන්තර යටලී පේළිවලදී මෙලෙස කැපී යැමක්‌ සිදු නොවේ. යටලී පේළි තුන එකිනෙක සම්බන්ධ වන්නේ පරාල මගිනි. මේ පරාළ එළන කල්හි ද ඉතා පරිස්‌සමින් එය කළ යුතු යයි නියමයකි. යටලී මූට්‌ටු ඇති තැන් මග හැර පරාළ ගැසීම සිරිතයි. උන්දම හා ඇල්ම ඇති පරාළ වර්තමානයේ දී බෙහෙවින්ම භාවිත කරති. පොල් ලී භාවිතයේ දී එම තත්වය උදා වේ. නමුත් මට්‌ටම් කරන ලද පරාල ගෙයකට යොදා ගැනීම ප්‍රශස්‌ත බව කිව යුතුය. පැරණි ගෙවල්වල මෙලෙස මට්‌ටම් කරන ලද පරාල යෙදීමට වෙසෙසි උනන්දුවක්‌ දක්‌වා ඇත.

මුදුන් යටලීය

නිවසට කොඩිවිනයක්‌ නොවිය යුතු  මුදුන් යටලීය

නිවසක වහළ රැඳ වෙන්නේ මුදුන් යටලීය මතය. ඒ නිසා ගෘහ නිර්මාණ කලාව වශයෙන් හැඳින් වෙන වාස්‌තු විද්‍යාවේදී නිවසක මුදුන් යටලීය කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු වෙයි.

* දිශා දෝෂය

මුදුන් යටලීයක ප්‍රධාන දෝෂය වශයෙන් සැලකෙන්නේ දිශා දෝෂ යයි.

දිශා දෝෂය හටගන්නේ ඉඩමක පිහිටීම අනුවය. ඉතා කුඩා බිම් කැබැල්ලක නිවසක්‌ ගොඩනගන්නට සිදුව ඇති යුගයක ජීවත්වන අපට අවශ්‍ය පරිදි දිශාවක්‌ තෝරා ගන්නට ලැබෙන්නේ කලාතුරකිනි.

කෙසේ නමුත් අද අපගේ විමසුමට ලක්‌වන්නේ නිවසක මුදුන් යටලීය පිළිබඳවය.

මුදුන් යටලීය එල්ල නොකළ යුතු අශුභම දිශාව ගිණිකොන දිශාවය.

ඉඩමේ හරි මැදට නිවසේ හරි මැද හසුවුහොත් එය නිවස විනාශ කරන කොඩි විනයක්‌ බවට පත්වේ.

* නිවසේ වහල

නිවසක වහල එම නිවසේ සුවිශේෂී අංගයක්‌ වශයෙන් සලකනු ලැබේ. එසේ සලකා ඉසිවරු වහලට වෙනම න්‍යාය පද්ධතියක්‌ ප්‍රකාශ කර ඇත. එම න්‍යායන්ට අනුව නිවසක වහල ගැසුවොත් ගෘහ හිමියාට, නිවසට පමණක්‌ නොව වඩු කාර්මික ශිල්පියාට ද සෙත සැලසේ.

* මුදුන් යට ලීය

මුදුන් යට ලීය රඳවන්නේ නිවසේ ප්‍රධාන බිත්ති දෙකක්‌ මතය.

මුදුන් යට ලීය බිත්ති තුනක්‌ මත රඳවන්නේ නැත. එසේම රැඳවුවහොත් එය ගෘහ මූලිකයාට ගෘහණියට අපල විපත් ඇති කරන මහා දෝෂයක්‌ බවට පත්වේ.

මේ මුදුන් යට ලීය සමහර අවස්‌ථාවල කෙටිව ද, සමහර අවස්‌ථාවල දික්‌ව ද යෙදේ. නිවසක වහලේ මුළු බර උසුලන්නේ මුදුන් යට ලීයයි. ඒ නිසා වාස්‌තු විද්‍යාවේ දී ඉසිවරයන් විසින් මුදුන් යට ලීය කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු කරනු ලැබ ඇත.

* ඉසිවර මත

ඉසිවරයන්ගේ එම වාස්‌තු විද්‍යා න්‍යාය මතය අනුව මුදුන් යට ලීය නිවසේ වහලේ බර උසුලන්නාක්‌ මෙන්ම දෝෂ සහිත මුදුන් යට ලීයේ බර ගෙහිමියාට ගෘහණියට උසුලන්නට සිදු වේ.

එයින් අදහස්‌ කරන්නේ දෝෂ සහිත මුදුන් යට ලීය ගෙහිමියාට ගෘහණියට අශුභ බලපෑම් එල්ල කරන බවය.

* රෝගාබාධ

දෝෂ සහිත මුදුන් යටලීයට, ගෙහිමියාට, ගෘහණියට වාත අමාරු, හිසේ අමාරු, කොන්දේ අමාරු, අංශභාගය වැනි රෝග ඇති කරන්නට තරම් ශක්‌තියක්‌ තිබේ. මුදුන් යට ලීයක්‌ වෙනත් නිවසක මුදුන් යට ලීයක්‌ වෙත කෙළින්ම එල්ල වී තිබුණහොත් එම නිවෙස්‌ දෙකේම අයට අසහන, ලෙඩ දුක්‌, කරදර සහ නිවෙස්‌ දෙක අතර අමනාපකම් ඇති වේ.

* සොහොන් පරාලය

පල සතරක්‌ සහිත් නිවසක මුදුන් යට ලීයෙන් බෙදී යන යට ලී සතර වැරදි ලෙස මූට්‌ටු කිරීමෙන් සොහොන් පරාල දෝෂය ඇති වී විපත් ඇති වේ.

* මුදුන් යට ලීයේ මූට්‌ටු

මුදුන් යට ලීය තනි ලීයක්‌ වීම ඉතා ශුභය. එසේම මුදුන් යට ලීය මූට්‌ටු කරන්නේ නම් එම මූට්‌ටු සංඛ්‍යාව දෙකෙන් බෙදෙන ගණනක්‌ විය යුතුය.

* ශුභ පාද

නිවසේ දිග පළල අනුව මුදුන් යට ලීයේ මූට්‌ටු ශුභ පාද මත තැබීමෙන් ද එම මූට්‌ටු මත කුරුපා නොතැබීමෙන් ද එම මූට්‌ටු බිත්ති මුළු මත නොතැබීමෙන් ද දොර ජනේල් මතට එල්ල නොකිරීමෙන් ද මර්මස්‌ථාන මතට එල්ල නොකිරීමෙන් ද බ්‍රහ්ම පාදය මග හැරීමෙන් ද එම නිවසට සහ එහි වෙසෙන අයට ශුභසිද්ධිය ඇති වේ.

* මුදුන් යට ලීයේ කුරුපා

මුදුන් යට ලීයට තබන කුරුපා සංඛ්‍යාව දෙකෙන් බෙදෙන ගණනක්‌ විය යුතුය. එසේම එම කුරුපා සියල්ලම එක හා සමාන දිග පළලකින් යුක්‌ත විය යුතුය.

* ජනෙල් දොර උළුවහු

නිවසක මුදුන් බිත්තියේ මැදට හසු වන සේ මුදුන් යට ලීයට පහලින් දොර ජනෙල් උළුවහු නොතැබිය යුතු බවට ද ඉසිවරු නීති පනවා ඇත.

* බිත්ති යට ලීය

වහල ගැසීමේ දී බිත්තිය මතුපිට සමාන්තරව යොදන ලීය බිත්ති යට ලීය වශයෙන් සැලකේ. බිත්ති යට ලීවල ප්‍රමාණය 4″ Ü 3″ හෝ 5″ Ü 4″ වශයෙන් ගනු ලැබේ. බිත්ති යට ලීවල මූට්‌ටු දොර ජනෙල් උළුවහු හෝ බ්‍රහ්ම පාදය මතට එල්ල නොවිය යුතුය.

* මැද යටලීය

මැද යටලීය සැලකෙන්නේ “අට්‌ටාලය” වශයෙනි. මුදුන් යට ලීයේ සිට බිත්ති යට ලීය දක්‌වා එක දිගට පරාල දැමීමේ දී වහලයේ බර අනුව මැදින් යොදන ආධාරකය zඅට්‌ටාලයZ වේ. පරාල එක දිගට ගත නොහැකි අවස්‌ථාවල දී මේ මැද යට ලීය යොදනු ලැබේ. මුදුන් යට ලීය හා බිත්ති යට ලීය අතර හරි මැදින් පරාල රැඳවීම සඳහා යොදන මැද යට ලීයේ ප්‍රමාණයන් 3″ Ü 5″ හෝ 4″ Ü 8″ දක්‌වා වෙනස්‌ වේ.

* මූල පරාල

වහල ගැසීමේ දී එක්‌ පැත්තක කෙළවර අනෙක්‌ පැත්තට වෙන් කිරීම සඳහා ආධාරකය වශයෙන් මූල පරාල යොදා ගනී.

මුදුන් යට ලීයේ සිට බිත්ති යට ලීය දක්‌වා යොදන මූල පරාල වහලේ කෙළවර බිත්ති මුල්ලට සම්බන්ධ වේ.

* කානු පරාල

වහලක හැඩ වෙනස්‌ වන ස්‌ථානවල වහලයේ ජලය බැස යැම සඳහා යොදන පීල්ලට ආධාරකයක්‌ වශයෙන් කානු පරාල යොදනු ලැබේ. මේ කාණු පරාල යොදන විට ශුභ පාද ගැන තැකීමෙන් නිවෙස්‌ හිමියාට මානසික සහන ඇති වේ.

* පරාල

වහලයක මුදුන් යට ලීයේ සිට බිත්ති යට ලීවලින් පිටත දක්‌වා යොදන පරාල වහලේ සෙවිලි ද්‍රව්‍ය අනුව දිග පලල වෙනස්‌ වෙයි.

* බාල්කය (තලාඳය)

වහලක්‌ තැනීමේ දී කුරුපා රැඳවීම සඳහා බිත්ති යට ලී මට්‌ටමින් යොදන දැව ආධාරකය බාල්කය වශයෙන් සැලකේ. මේ බාල්ක අශුභ පාද මත හෝ දොර ජනෙල් උළුවහු මත රැඳවීම ඉතා අශුභය.

* වඩිම්බු ලෑල්ල

වහලේ පරාල පහත කෙළවර ජලයෙන් තෙත් වීම වළක්‌වා ගනු පිණිස පරාලවල පහත කෙළවරෙහි බිත්ති යට ලීයට සමාන්තරව සවි කරන ලෑල්ල වඩිම්බු ලෑල්ල වශයෙන් හැඳින්වේ. වඩිම්බු ලෑල්ල සවි කිරීමෙන් නිවසේ වහලට අලංකාරයක්‌ ද එකතු වේ.

* කුඩා පියසි

නිවසේ වහල අලංකාර කරනු පිණිස කුඩා පියසි පිටට පන්නා වහල ගැසීමේ දී එම කුඩා පියසි අශුභ දිශාවන්ට හසු වීම නිසා ද අශුභ පාද මත පිහිටීම නිසා ද, දොර ජනෙල් මත පිහිටීම නිසා ද පියසි ගණන ඔත්තේ සංඛ්‍යාවක්‌ වීම නිසා ද එම කුඩා පියසිවලට යටින් තනි කුරුපාවක්‌ සවි කිරීම නිසා ද ලෙඩ රෝග, දුක්‌ කරදර, මානසික අසහන ඇති වේ.

* දෙලොව සැප

ඉසිවර න්‍යායන්ට ගරු කර තනනු ලබන වහල සහිත නිවසෙහි වසන අයත් එය තැනූ වඩුවාත් දෙලොව සැප ලබන බව ඉසිවරු කියති.

* මානව සංහතිය

මානව සංහතියේ පැවැත්මට ප්‍රධාන ආධාරකය වූයේ නිවසය. ඒ නිසා නිවසක්‌ තැනීමේ දී ජ්‍යෝතිෂ විද්‍යාවේ සඳහන් වාස්‌තු විද්‍යා න්‍යාය ධර්මයන්ට ගරු කිරීමෙන් සැප ලැබෙන බව ඉසිවරු කියති.